Tuesday, September 17, 2013

ඇරඹුම

බොහෝ කාලයක සිට තිබෙන අදහසක් තමා අද මෙලෙස බ්ලොග් එකක් විදියට  එලි දකින්නෙ. 

මම හරි ආසයි ජීවිතය ලියා තබන්නට.  අපි හැමෝම වාගේ අතීතයට බොහෝ ඇළුම් කරනවා. මමත් එහෙමයි. සාමාන්‍ය මනුස්සයෙක් අතීතය මෙනෙහි කරමින් ලබන සතුටට වඩා වැඩි සතුටක් මම එයින් ලබනවාද කියලත් මට හිතෙනවා. විටෙක වර්තමානය කෙතරම් කටුක, දුෂ්කර වුවත් එය අතීතයට එක් වූ පසු එහිද අමුතුම වින්දනයක් ඇතැයි මට හිතෙන්නට පටන් අරන් තිබුනා. මට එවැනි අත්දැකීම් බොහොමයක් තිබෙනවා. එම නිසාම  වර්තමානයේ කටුක අත්දැකීම් පසු කලෙක සුන්දර මතකයන් වනු ඇතැයි සිතා, වර්තමානයද සතුටෙන් ගත කිරීමට මම උත්සාහ දරනවා. 

ඒ නිසාමයි මෙවැනි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නට මම අදහස් කලේ.මෙවැනි මතකයන් ලියල තියන්න හිතුනේ තවත් කාලයක් ගත වී මෙම ලිපි බලා ඒ අතීතය නැවත ලෙහෙසියෙන් මතක් කර ගැනීමටත්, මම අත්විඳි දෑ එලෙස අත් නොවිඳූ බොහෝ දෙනාගේ දැන ගැනීමටත් ය.

අපි යම් කලා නිර්මාණයක් පරිශීලනය කිරීමෙන් ඒ ලෝක තුල මොහොතක් හෝ ජීවත් වෙනවා.එහි සිදුවීම් අප සතු සැබෑජීවිත අත්දැකීම් නොවුවත්  අප එම අත්දැකීම සිතින් හෝ අත්විඳින්නේ නිරායාසයෙන්. මෙම ලිපි කියවීමෙන් මා ලද වින්දනය ඔබගේද සිතින් විඳින්නට හෝ ඊට සමාන්තරව දිවෙන ඔබ සතු මතකයන් අවදි වීමට හේතු වුවහොත් එයින් මගේ උත්සාහය ඵල දරනු ඇතැයි මට සිතෙනවා. 

මට ලිපි ලියන්නට හදිස්සියක් නෑ. විවේකී වෙලාවට, ලියන්නට හිතුනොත් ලියන්නයි මට හිත තියෙන්නෙ. එමෙන්ම මෙම බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කර ගැනීමේ උවමනාවකුත් මට නෑ. මම ආසයි මෙය මම ඇඟිල්ලෙන් ඇන කෙනෙකුට පෙන්නනවාට වඩා අහම්බෙන් දකින අය කියවනවාට.

කෙසේ වෙතත් මෙය අතීත මතකයන් ලියවෙන අඩවියක්ම පමණක් නොවේවි. මට හිතෙන ඇතැම් අදහස්ද මෙහි ලියවේවි. කොටින්ම කිව්වොත් මම දන්නෙ නෑ තවමත් මෙහි අන්තර්ගතය කෙසේ වේවිද කියා. මම හරිම නිදහසේ මෙය ලිවීමට බලාපොරොත්තු වෙනවා. 

මට කාගෙන්වත් ලයික්  බලාපොරොත්තුවක්වත්, කොමෙන්ටු බලාපොරොත්තුවක් නෑ. මම දැකල තියෙනවා හුඟක් අය තමන්ගේ නිර්මානයක් promote කරගන්න දරන වෙහෙස. මම එලෙස ලයික් හිඟාකන්නටවත් කොමෙන්ට් හිඟාකන්නටවත් කැමති නෑ. මෙහෙම කිව්වේ  ලොකුකමකට නම් නෙමෙයි. මට එහෙම  උවමනාවක් හදවතින්ම නැති නිසයි එහෙම කිව්වේ. ඒ කිව්වේ ලයික් කරන්නවත්, කොමෙන්ට් කරන්නවත් එපා කියලත් නෙමේ. මේ ලියන දේවල් මට ෆේස් බුකියේ දාන්න හිතුනේ නැත්තෙත් ඒකමයි. මේ ලියන දේවල් මම ෆේස්බුකියට share කරන්නෙ අඩුවෙන්. නොකරනවා නෙමේ. ඒත් එය අඩුවෙයි. :)

2 comments:

  1. හරිම අපූරුයි..... අපූරුයි කිව්වෙ මූනිච්චාවට නෙමෙයි.හදවතින්මයි... මේ තමයි මම දකින්න ආසාවෙන් හිටපු ඔයාව,හබැයි මීට ගොඩක් ඉස්සර..එත් කමක් නෑ, දැන් හරි ඒ දෙවල් එලියට එන එක ගැන ඔයාගෙන් පස්සෙ ගොඩක්ම සතුටු වෙන්නෙ මම.ගොඩක් ලියන්න....මම ආසාවෙන් ඉන්නෙ කියවන්න... මම දන්න දෙවල්, නොදන්න දෙවල්, මට කියපු දෙවල්, නොකියපු දෙවල්....හැමදෙම ලියන්න....
    හැමදාම වගෙ ඔය ඇතුලෙ ඉන්න සුමේධ ව කියවන්න මම ආසාවෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදු අම්මි!
      හැමදේම අපිට ඕනෙ කාලෙට වෙන්නෙ නෑනෙ. හැම දේම සිද්ද වෙන්න කාළයක් තියෙනවාලුනෙ. මට දැනුයි ලියන්න හිතුනෙ. ඒත් කවදා වෙනකල් ලියන්න හිතෙයිද මම දන්නෙ නෑ. මොනවා උනත් ඒක දිගටම කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මගෙත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා ඔයත් අයෙත් ලියන්න පටන් ගනියි කියලා. (හැබැයි දුක ලියනවා වගේම සතුටත් ලියන්න පුරුදු වෙන්න.)

      Delete