Sunday, October 27, 2013

ආදරේ... කියා දුන්න ආදරී ඔයා...


අද එක පාරටම මම කැමැත්තෙන් හිටි ගීතයක් මතක් වෙලා අන්තර්ජාලයේ සොයා බැලුවා. බලාපොරොත්තුවෙන් හිටියට වඩා වෙනස් ම හැඟීම් ගොන්නක් ඒ ගීතය  ඇහෙනකොට මට ඇති වෙන්න පටන් ගත්තා. 
ගීතය තමා අතුල අධිකාරි ගයන "හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න... "ගීතය. 

මට ඇයව ඉතා තදින් මතක් වෙන්න පටන් ගත්තා. ඇය ගැන මේ බ්ලොග් අඩවියේ ලියන්නට හිතාගෙන හිටියත්, මම බලාගෙන හිටියේ ඊට සුදුසුම හැඟීම හිතේ ඇති වෙන මොහොත වෙනකල්. 

එම ගීතය විඳින විට මට දැනුනේ ඉතා තියුණු, අසරණ විරහ වේදනාවක්. ගීතය ගයන වේදනාත්මක, සංවේදී හඬෙන් එහි අදහස තව තවත් ඔපමට්ටම් වෙන බවයි මට දැනෙන්නේ. ගීතයේ තනුවත් ඊටම ගැලපෙන එකක්. මොනවා වුනත් මේ ගීතය මට විශේෂ ගීතයක් වගේ දැනෙන්නට පටන් ගත්තේ, එය මගේ මතකයන් අවුස්සන්නට සමත් වූ නිසා වන්නට ඇති.

මට ඒ හැඟීම් සියල්ල 100%ක් අදාල නොවුණත්, මගේ හිතේ කොනක හැංගිලා තිබුන, මටවත් හොයාගන්න බැරුව සහ මට එලියට දාගන්න බැරිව තිබුන වේදනාව ඒ ගීතයෙන් හොදින් පිළිබිඹු වන බව දැනුනා.

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර... හිඳින්නෙ කොහොම...
සුලඟ වගේ මා... අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ... කියලා දෙන්න...

කඳුලක් කඳුලක් ගානේ...පෙම දිය කරලා...
සුසුමක් ගානේ... හදවත දුක් ගිනි අවුලා...
අමතක කරලන්නට බෑ... මට නම් කිසි දා...
ආදරේ... කියා දුන්න... ආදරී ඔයා..

දැවුනත් දැවුනත්... මිය ගිය පෙම සිහි කරලා...
සුවඳක්වත් නෑ... මතකයෙ අදනම් රැඳිලා...
අමතක කරලන්නට බෑ... මට නම් කිසිදා...
ජීවිතේ... කියා  දුන්න... ආදරී ඔයා...


සමහර පේලි කපා දැමුවේ ඒවා මට අදාල නොවෙන නිසා කියලා හිතුන නිසා. මට දැනෙන විදියට මේ ගීතයේ වේදනාව මුසු වුණ සියුම් චෝදනාවක් තියෙනවා. ඇය කෙරෙහි ඒ චෝදනාත්මක හැඟීම මට නැති නිසයි "වරද මගේ රත්තරනේ... කියලා දෙන්න" කියන පද පේලිය කපා දැමුවේ.ඇය මා හැර ගියේ මගේ වරදක්වත්, ඇගේ වරදක්වත් තිබූ නිසා නොවේ යැයි මට සිතේ. ඒ නිසයි මට එම පද පේලිය අදාල නොවන්නේ යැයි සිතුනේ.

මට මෙහි ගැලපෙනම පද පේලි දෙකක් තියෙනවා. එම පද පේලි දෙකේ අදහස, මගේ හිත ඇතුලේ බොහෝ කාලයක සිට හිරවෙලා තිබුනත් වචන ගැලපිලා එලියට ආවෙ නැති නිසා එය කියාගන්න බැරි වෙලයි තිබුනේ. ඒත් මේ ගීතයේ ඒ අදහස හරි අපූරුවට වචන වලට ගලපලා එලියට අරන් තියෙනවා කියලා මට හිතෙනවා. 

"ආදරේ... කියා දුන්න ආදරී ඔයා
ජීවිතේ... කියා දුන්න ආදරී ඔයා"

ඒ පද පේලි දෙක මට හරියටම ගැලපෙනවා යැයි හිතෙන්නට ගත්තා. ඒ ඇය මට ඇත්තටම ආදරයත්, ජීවිතයත් දෙකම කියා දී යන්න ගිය නිසා. ජීවිතය කියා දුන් කිහිප දෙනෙක්ම මගේ ජීවිතයට අදාලව සිටින නමුත් ඇය මට ආදරෙන් ජීවිතය කියා දුන්නා කියා සිතෙනවා. ඒ නිසාම ඇය මට විශේෂ මතකයක් වන්නේ තර්ක විරහිතවයි. ඇය ගැන සටහන් තබන්නට මම මෙසේ මුල පුරන්නම්.  

ඇය මට මුළින්ම හමු වූයේ, ජීවිතය කඩා වැටුනා යැයි සිතූ සමයකයි. මට එසේ ජීවිතය එපා වී තිබුනේ ඒක පාර්ශවික ආදරයක කෙලවර ඇති බිඳවැටීමෙන් ඇතිවන කලකිරීම මා සතුව තිබූ නිසා. ජීවිතය එපා වී, අරමුණක් නැති වී ඔහේ බලාගෙන සිටි සමයක ඇය ක්‍රමයෙන් මට ලං වන්නටත්, මම ඇයට ලං වන්නටත් පටන් ගත්තා. අප දෙදෙනාගේ අදහස් සමාන්තර වූ නිසා අප අතර එකිනෙකා වටහා ගැනීම මැනවින් සිදු වුනා. 

ඇය හෙමින් හෙමින් මගේ හිත අස්ස හීන ගොඩක් ගෙනල්ල දුන්නා. ඒ හීනත් එක්ක එපා වී තිබූ මගේ ජීවිතය නැවතත් ක්‍රමයෙන් ප්‍රකෘති තත්වයට පත් වන්නට පටන් ගත්තා. ටිකෙන් ටික අප අතර ආදරයක් දළු ලා වර්ධනය වන්නට පටන් ගැණුනා.

කාලයත් සමග අප ආදරණීයයන් බවට පත් වූවා. ඇය මට ආදරය ඉගැන්වූවා.මට ආදරය ඉගැන්වූයේ ඇය බව ඇයවත් නොදන්නවා විය හැක. 

"ජීවිතය යනු ආදරයයි" කියන මතයක ඇය සිටියා. මම ඒ මතයෙන් මදක් වෙනස් මතයක් දැරුවත් ඇයගේ මතයේ මහා ලොකු වරදක් නැති බව මමද පිළිගන්නට කැමැත්තෙමි.ඇත්තටම ජීවිතය යනු ආදරයම නොවේ, ඒත් ජීවිතය ජීවත් කරවන්නට සහ ජීවිතයේ විඳීමට ආදරය අත්‍යාවශ්‍ය සාධකයක් බව මමද පිළිගන්නා නිසයි, මටද ඇය නිවැරදි බව සිතෙන්නේ. 

ඇගේ ආදරය හරි අපූරුයි.ඇය ඇස් වලින් කතා කරන කෙනෙක්. ඇස් වලින් හිනාවෙන, ඇස් වලින් අඬන කෙනෙක්. ඇය සාමාන්‍යයෙන් කුඩා සිරුරක් හිමි අයෙක් වුවත් ඇගේ හිත හරි ලොකු බව මට දැනුනේ මා සමග ජීවිතය බෙදාගන්නට පටන් ගත් පසුයි.

ඇය මම වෙනුවෙන් බොහෝ කැපවීම් කල අයෙක්. ඇය මා අසාර්ථක වූ හැම විටෙකම මා තනිකර දමා නොයා මා සමග සිටියා. ජීවිතයේ මට වඩාත්ම සවන් දුන් කෙනා ඇයයි. සාමාන්‍යයෙන් නිශ්ශබ්ද චරිතයක් වන මම ඇය ඉදිරියේ කටකාරයෙකු වූයේ ඈ මට සවන් දුන් නිසාම වන්නට ඇති.

ඇගේ ආදරය දිහා මම බොහොම සියුම්ව බලා සිටින්නට පුරුදු වෙලා හිටියා. ඒ ආදරේ ගැන බලාගෙන ඉන්නකොට තමා මට ආදරය ගැන දැන් තිබෙන දැක්ම ඇති වූයේ.

'ආදරය' බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් අර්ථ දක්වන්නට වෑයම් දරන බව මම දැක ඇත්තෙමි. නමුත් ඇගේ ආදරය දෙස බලා සිටි මට මෙහෙම හිතෙන්න පටන් ගත්තා.

 "ආදරය යනු බොහෝ හැඟීම් ගොඩක එකතුවක්. එය තවත් තනි 
වචනයකින් ප්‍රතිස්ථාපනය (replace ) කරන්න බැරි දෙයක්. ආදරය යනු කැපවීම, කරුණාව, ඉවසීම, පරිත්‍යාගය,සතුට, දුක,බලාපොරොත්තුව වැනි තවත් නොකියූ හැඟීම් ගොඩක එකතුවක් " 

ඇගේ ආදරය දෙස බලා සිටින විට මට ආදරය ගැන හිතුනේ එවැනි දැක්මක්. ඇගේ ආදරයේ කරුණාව, පරිත්‍යාගය,ඉවසීම වැනි ගුණාංග බොහෝ කැපී පෙනුනා. ඒ නිසාම වෙන්න ඇති ඒ ආදරේ මට ගොඩක් සමීප වුනේ. මට මෙම ගීතයේ "ආදරේ කියා දුන්න ආදරී ඔයා" කියන පද පේලිය හිතට දැනුනේ ඇගේ ආදරේ මට සමීප වූ නිසා වෙන්න ඇති.

ඇය සමග ගෙවූ කාලය ඉතා සුන්දර බව මට දැනෙන්නේ අපේ ආදරේ මතක සටහන් නැවත නැවත අවුස්සා බලන විටයි. නමුත් අද ඇය මා ලඟ නෑ. කෙසේ වෙතත් ඇය සෑමදාම මගේ සිතේ ඉතාමත් ඉහල ස්ථානයක ජීවත් වේවි. ඇය දිනක මගේ බිරිඳ නොවූවත්, ඇය මගේ නොමියෙන පෙම්වතිය වේවි.ජීවිතය කාලයත් සමග වෙනස් වේවි. ඇගේ ලෝකයට වෙනත් අයෙක් පැමිණේවි. 
මගේ ලෝකයටත් වෙනත් අයෙකු පැමිණේවි. කෙසේ වුවත් මට ඇයගේ ආදරය සදාකාලික නොමියෙන මතකයක් වනු ඇත

ආදරය නැමැති සුන්දර මතකය ජීවිතයට එක් නොවූ බොහෝ දෙනෙක් සිටින ලෝකයේ, එම හැඟීම මගේ ජීවිතයට එකතු කල ඇය මම කෙසේනම් අමතක කර දමන්නද? 

"අමතක කරලන්නට බෑ... මට නම් කිසිදා...
  ජීවිතේ... කියා දුන් ආදරී ඔයා..."


ජීවිතයේ බොහෝ දේ අපිට ලැබේවි, ඒ වගේම බොහෝ දේ අපට නොලැබී යාවි. එය තමා ජීවිතය. ලැබුන දෙයට වඩා, නොලැබුන දෙයට ඇළුම් කිරීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වුවත්, ජීවිතය ඉදිරියට ගෙනයාමට කලකිරීමෙන් බැරි බව මා දැන් වටහාගෙන බොහෝ කල්ය.

ඒ නිසාම මේ සියල්ල අතීතයේ සුන්දර මතක ගොන්නට එකතු කරමින් ජීවිතය ඉදිරියට ගෙනයාමට මම උත්සාහ කරමි. දිනෙක මා ජයගනු ඇත. ඇය ඒ ගැන හදවතින්ම සතුටු වනු ඇත. කෙසේ වෙතත් මෙය ජීවිතයේ සුන්දර කාල පරිච්ඡේදයක නිමාව වනු ඇත. 

ඒ සුන්දර ආදරය ගැන ඉදිරියටත් මට ලියන්නට බොහෝ දේ ඇතත්, මම අදට මෙසේ නවතිමි.

(මම මෙම ලිපිය ලියන මොහොතේ එක දිගට මෙම ගීතය පසුබිමින් ඇහෙන්න සලස්වා ගත්තා. කියවන ඔබටත් මෙම ගීතය බාහිරයෙන් ඇසුනොත් මට ඇති වූ හැඟීම තරමක් හෝ සිත තුල ජනිත වේවි. එම නිසා ගීතය අසන ගමන් මෙම ලිපිය කියවන්න. )




Friday, October 4, 2013

පළමු ලිපිය: අප්පච්චි

අපේ ගෙදර මිදුල ටිකක් විශාල සුදු වැලි පිරුණ මිදුලක්.
රෑට හුඟක් හොඳට අහසේ තරු බලන්න පුළුවන්.
මම පුංචි කාලේ අපි හැමෝම රෑට මිදුලට වෙලා ඉඳගෙන ඉන්නවා,
අහසේ තරු බලන්න.
අප්පච්චි ගිටාරය වයනවා.
අප්පච්චි බොහෝ වෙලාවට වයන්නේ ගීත නෙමේ.
එයාටම ආවෙණික වාදන. අප්පච්චි කෝඩ් අමුණලා,
අලුත් අලුත් සංගීත ඛන්ඩ වයනවා
අප්පච්චිට හොඳ ඉවක් තිබුනා,
එකකට එකක් ගැලපෙන කෝඩ් වාදනය කරන්න.
ඒ වාදන අහගෙන ඉන්නකොට මට දැනෙනවා,
අද අප්පච්චි සතුටෙන්ද දුකෙන්ද ඉන්නෙ කියලා.
අප්පච්චි ගිටාරය වයද්දි තියෙන්නෙ හොඳ සංයමයක්.
ඔහුට වරදින්නෙ නැති තරම්
අප්පච්චිට තිබුනෙ බොහොම පැහැදිලි, ගැඹුරු පදං වුන හඬක්.
සමහර වෙලාවට ඔහු වාදනය කරණ  වාදනයට අනුකූලව මුමුනනවා.
ඒ කාලේ අයෙත් මතක් වෙනවා. කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා
දැන් අප්පච්චි ඉස්සර වගේ නෑ.
අපිත් ඉස්සර වගේ නෑ
ඔහු වයසයි.අපි තරුණයි. ඔහු හරි සුන්දර මනුස්සයෙක්.
මටත් ආසයි දවසක ඒ සුන්දර මනුස්සයා වගේ වෙන්න.

Tuesday, September 17, 2013

ඇරඹුම

බොහෝ කාලයක සිට තිබෙන අදහසක් තමා අද මෙලෙස බ්ලොග් එකක් විදියට  එලි දකින්නෙ. 

මම හරි ආසයි ජීවිතය ලියා තබන්නට.  අපි හැමෝම වාගේ අතීතයට බොහෝ ඇළුම් කරනවා. මමත් එහෙමයි. සාමාන්‍ය මනුස්සයෙක් අතීතය මෙනෙහි කරමින් ලබන සතුටට වඩා වැඩි සතුටක් මම එයින් ලබනවාද කියලත් මට හිතෙනවා. විටෙක වර්තමානය කෙතරම් කටුක, දුෂ්කර වුවත් එය අතීතයට එක් වූ පසු එහිද අමුතුම වින්දනයක් ඇතැයි මට හිතෙන්නට පටන් අරන් තිබුනා. මට එවැනි අත්දැකීම් බොහොමයක් තිබෙනවා. එම නිසාම  වර්තමානයේ කටුක අත්දැකීම් පසු කලෙක සුන්දර මතකයන් වනු ඇතැයි සිතා, වර්තමානයද සතුටෙන් ගත කිරීමට මම උත්සාහ දරනවා. 

ඒ නිසාමයි මෙවැනි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නට මම අදහස් කලේ.මෙවැනි මතකයන් ලියල තියන්න හිතුනේ තවත් කාලයක් ගත වී මෙම ලිපි බලා ඒ අතීතය නැවත ලෙහෙසියෙන් මතක් කර ගැනීමටත්, මම අත්විඳි දෑ එලෙස අත් නොවිඳූ බොහෝ දෙනාගේ දැන ගැනීමටත් ය.

අපි යම් කලා නිර්මාණයක් පරිශීලනය කිරීමෙන් ඒ ලෝක තුල මොහොතක් හෝ ජීවත් වෙනවා.එහි සිදුවීම් අප සතු සැබෑජීවිත අත්දැකීම් නොවුවත්  අප එම අත්දැකීම සිතින් හෝ අත්විඳින්නේ නිරායාසයෙන්. මෙම ලිපි කියවීමෙන් මා ලද වින්දනය ඔබගේද සිතින් විඳින්නට හෝ ඊට සමාන්තරව දිවෙන ඔබ සතු මතකයන් අවදි වීමට හේතු වුවහොත් එයින් මගේ උත්සාහය ඵල දරනු ඇතැයි මට සිතෙනවා. 

මට ලිපි ලියන්නට හදිස්සියක් නෑ. විවේකී වෙලාවට, ලියන්නට හිතුනොත් ලියන්නයි මට හිත තියෙන්නෙ. එමෙන්ම මෙම බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කර ගැනීමේ උවමනාවකුත් මට නෑ. මම ආසයි මෙය මම ඇඟිල්ලෙන් ඇන කෙනෙකුට පෙන්නනවාට වඩා අහම්බෙන් දකින අය කියවනවාට.

කෙසේ වෙතත් මෙය අතීත මතකයන් ලියවෙන අඩවියක්ම පමණක් නොවේවි. මට හිතෙන ඇතැම් අදහස්ද මෙහි ලියවේවි. කොටින්ම කිව්වොත් මම දන්නෙ නෑ තවමත් මෙහි අන්තර්ගතය කෙසේ වේවිද කියා. මම හරිම නිදහසේ මෙය ලිවීමට බලාපොරොත්තු වෙනවා. 

මට කාගෙන්වත් ලයික්  බලාපොරොත්තුවක්වත්, කොමෙන්ටු බලාපොරොත්තුවක් නෑ. මම දැකල තියෙනවා හුඟක් අය තමන්ගේ නිර්මානයක් promote කරගන්න දරන වෙහෙස. මම එලෙස ලයික් හිඟාකන්නටවත් කොමෙන්ට් හිඟාකන්නටවත් කැමති නෑ. මෙහෙම කිව්වේ  ලොකුකමකට නම් නෙමෙයි. මට එහෙම  උවමනාවක් හදවතින්ම නැති නිසයි එහෙම කිව්වේ. ඒ කිව්වේ ලයික් කරන්නවත්, කොමෙන්ට් කරන්නවත් එපා කියලත් නෙමේ. මේ ලියන දේවල් මට ෆේස් බුකියේ දාන්න හිතුනේ නැත්තෙත් ඒකමයි. මේ ලියන දේවල් මම ෆේස්බුකියට share කරන්නෙ අඩුවෙන්. නොකරනවා නෙමේ. ඒත් එය අඩුවෙයි. :)